පාසල් අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ලබන වසරේ සිට හය ශ්‍රේණියේ සිසුන් සඳහා ඩිජිටල් අධ්‍යාපන පහසුකම් ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි වසර පහක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති බවත්, ඒ අනුව ප්‍රාථමික පාසල් නවීකරණය කිරීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක බවත් පැවසුවාය.

එමෙන්ම, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීම සඳහා උසස් අධ්‍යාපනයට සමාන පුහුණුවක් ලබාදිය හැකි දිස්ත්‍රික් මට්ටමේ මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. අධ්‍යාපන පරිපාලනය, සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සහ ගුරුවරුන්ගේ කාර්යභාරය පහසු කිරීම අරමුණු කරගනිමින් සමස්ත අධ්‍යාපන පද්ධතියම ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ද ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version