දිවයිනේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල මහජන ඇමතුම් පද්ධති (PA System) වඩාත් විධිමත් කිරීමේ අරමුණින්, අදාළ කාර්ය මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමේ තෙදින වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ආරම්භ විය.
මෙම වැඩසටහන මගින් රෝහල් වෙත පැමිණෙන ජනතාවට සෞඛ්‍ය පණිවුඩ සහ නිවේදන වඩාත් පැහැදිලිව, හරවත් ලෙස සහ ආකර්ෂණීය අයුරින් ලබාදීම සඳහා කාර්ය මණ්ඩලය සන්නද්ධ කිරීම අපේක්ෂා කෙරේ.
මෙම පුහුණු වැඩසටහන සඳහා දිවයිනේ ප්‍රධාන රෝහල් 20ක් නියෝජනය කරමින් වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, කළමනාකරණ සහායකයින් සහ පිළිගැනීමේ නිලධාරීන් ඇතුළු විවිධ වෘත්තීන් 10ක නියෝජිතයින් සහභාගී වී සිටිති.
ප්‍රවීණ මාධ්‍යවේදීන්, සෞඛ්‍ය විශේෂඥයින් සහ ශබ්ද ඉංජිනේරුවන් විසින් මෙහිදී සහභාගිවන්නන්ට න්‍යායික දැනුම ලබා දෙන අතර, රාජ්‍ය හා පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන පහක් හරහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමටද කටයුතු සූදානම් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ, මහජනතාවට ලබාදෙන පණිවුඩ කෙටි සහ තේරුම් ගත හැකි අයුරින් ලබාදීම රෝහල් පද්ධතියේ සන්නිවේදනය ශක්තිමත් කිරීමට ඉවහල් වන බවයි.
මෙම වැඩසටහන හරහා රෝහල් ආශ්‍රිතව වඩාත් උද්යෝගිමත් සහ විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් ගොඩනැගීම රජයේ දිගුකාලීන අරමුණ වී තිබේ.
