ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS උදයගිරි’ නෞකාව අද (08) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගනු ලැබීය.

මීටර් 149.02ක දිගකින් යුත් මෙම ප්‍රහාරක නෞකාව, කපිතාන් විකාස් සූද් මහතාගේ අණදීම යටතේ මෙරටට පැමිණ ඇත. කපිතාන් විකාස් සූද් මහතා මීට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයකි.

සිය සංචාරය අතරතුර, නෞකාවේ අණදෙන නිලධාරිවරයා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා හමුවීමට නියමිතය. දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් විවිධ සුහද වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය අතර අන්‍යෝන්‍ය දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සහ පුහුණු සැසි කිහිපයක් ද පැවැත්වීමට නියමිතය. නෞකාවේ කාර්ය මණ්ඩලය මෙරට සංචාරක සහ සංස්කෘතික ස්ථාන නැරඹීමට ද එක්වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version