හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකානු ආරක්ෂක සමාගමක් වන ‘ඇන්ඩුරිල්’ විසින් නිෂ්පාදනය කරන ලද Dive-LD වර්ගයේ මිනිසුන් රහිත දිය යට ගමන් ගන්නා යානයක් (Submarine Drone) ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, විශේෂ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව මෙම යානය ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.
මෙම ඩ්‍රෝන යානය මුහුදු පත්ල සිතියම්ගත කිරීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ දිය යට පවතින කේබල් හා නල මාර්ග පරීක්ෂා කිරීම වැනි කාර්යයන් සඳහා යොදා ගැනේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් පවසන්නේ, දින කිහිපයකට පෙර දෝෂයකට ලක්වූ තම පැරණි මාදිලියේ ඩ්‍රෝන යානයක් මෙලෙස ඉරාන භාරයට පත්ව ඇති බවයි. එම යානය තුළ කිසිදු සංවේදී තොරතුරක් හෝ රහසිගත සෝනාර් හා රේඩාර් උපකරණ නොතිබූ බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
