ජාතික සහ පළාත් පාසල්වල සේවය කරන ගුරුවරුන් මුහුණ දී සිටි ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සහ ශ්‍රේණි උසස්වීම් සඳහා නව සහන මාලාවක් හඳුන්වා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
සංශෝධිත ගුරු ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් නව විභාග ක්‍රමය හේතුවෙන් පෙර පැවති මොඩියුල ක්‍රමයට අනුව කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමට නොහැකි වූ ගුරුවරුන්ට මෙම සහන හිමිවේ. අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, 2022 ඔක්තෝබර් 23 සිට 2025 ජුනි 30 දක්වා කාලය තුළ පළමු ශ්‍රේණියට උසස්වීම් ලැබීමට නියමිත ගුරුවරුන්ට තෙවන කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීමට අවස්ථාව ලැබෙන බවයි.
එසේම, මීට පෙර කොන්දේසි සහිතව උසස්වීම් ලැබූ නිලධාරීන්ට ද එම කොන්දේසිවලින් නිදහස් වීමට අවස්ථාව හිමිවනු ඇත. 2025 ජුනි 30 දින සිට අදාළ විභාග ගැසට් කරන දිනය දක්වා කාලසීමාව තුළ ශ්‍රේණි උසස්වීම් ලැබීමට නියමිත නිලධාරීන්ට ද මොඩියුල හෝ විභාග සම්පූර්ණ කිරීමකින් තොරව උසස්වීම් ලබා දීමට තීරණය කර තිබේ.
මෙම තීරණයන්ට අදාළ නිල චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
