ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ‘කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය’ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා රේගු දෙපාර්තමේන්තුව සූදානම් කර ඇති තාක්ෂණික පසුබිම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් කරුණු දැක්වීමක් සිදු කෙරිණි. රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා රේගුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම නවීකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ඇගයීමට ලක්විය. මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ද ඔවුන් එකඟතාව පළ කළහ.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා, ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Dinar Prihardini මහත්මිය සහ Klakow Akepannidtaworn මහතා සහභාගි වූහ.
