ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්චේ මහතා අතර හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී මෑතකදී ඇති වූ ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ හදිසි ආපදා ප්‍රතිචාර සහ සහන සේවා වැඩසටහන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ එක්සත් ජාතීන් ලබා දුන් සහයෝගය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ආපදා කළමනාකරණයේදී ලබාගත් අත්දැකීම් උපයෝගී කරගනිමින්, අනාගතයේදී ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට වඩාත් සාර්ථකව මුහුණ දීම සඳහා කඩිනම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කළහ.

එසේම එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන් ඇති විය හැකි දේශගුණික බලපෑම්, ජල හිඟය සහ සමාජ-ආර්ථික අවදානම් කළමනාකරණය කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගය අඛණ්ඩව ලබා ගැනීමටත්, ජාතික ආයතන සමඟ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමටත් තීරණය විය.

ආරක්ෂක ලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ මෙම සහයෝගය අගය කළ අතර, ශ්‍රී ලංකාවේ ආපදා ඔරොත්තු දීමේ හැකියාව සහ සූදානම ඉහළ නැංවීම සඳහා දෙපාර්ශවය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version