ලෝක සංචාරක දිනයට සමගාමීව බස්නාහිර පළාත් සභා ශ්රවණාගාරයේ පැවති ජාතික සම්මන්ත්රණයකට එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව අවධාරණය කළාය. සංචාරක ක්ෂේත්රයේ ආදායම රටේ ඉහළ මට්ටමේ පමණක් නොව, ගමේ සිටින කුඩා ව්යවසායකයා දක්වා සාධාරණව බෙදී යන ක්රමවේදයක් සකස් කිරීම රජයේ අරමුණ බව ඇය සඳහන් කළාය.
2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක් රජය සතු බව අග්රාමාත්යවරිය මෙහිදී සිහිපත් කළාය. ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් උපයා ගැනීම රජයේ අපේක්ෂාවයි. 2025 වසරේදී පමණක් සංචාරකයින් විසිතුන් ලක්ෂයකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, එයින් ඩොලර් බිලියන 3.22ක විදේශ විනිමයක් රටට ලැබී ඇත.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන සතු දැනුම ප්රායෝගික සංචාරක ක්ෂේත්රයේ දියුණුව සඳහා යොදා ගැනීමේ වැදගත්කම අග්රාමාත්යවරිය පෙන්වා දුන්නාය. තරුණ පරපුර නව තාක්ෂණය සහ නිර්මාණශීලීත්වය ඔස්සේ සංචාරක ක්ෂේත්රයේ වෘත්තීය අවස්ථා සඳහා යොමු විය යුතු බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම උත්සවයේදී ගම්පහ දිස්ත්රික්කයේ ‘අලවල’ ප්රජා මූලික තිරසාර සංචාරක ගම්මානය සඳහා හඳුන්වා දුන් නව තාක්ෂණික සුහුරු වැඩසටහන (Smart Tourism Platform) ද අග්රාමාත්යවරියගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණි. එමෙන්ම, පාසල් සංචාරක කවයන්හි ජයග්රාහක දරුවන් වෙත සහතිකපත් ප්රදානය කිරීමද මෙහිදී සිදු විය.
