ඉන්දියාවේ සිට ආනයනය කරන ලද රුපියල් කෝටි 1500ක් වටිනා වියළි මිරිස් ටොන් 1150ක තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකිව ගබඩාවල සිරවී පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ආහාර ආරක්ෂක ඒකකය විසින් මෙම මිරිස් තොගය සඳහා අනුමැතිය ලබා නොදීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබේ. අදාළ මිරිස් සාම්පලවල ඇෆ්ලටොක්සීන් (Aflatoxin) ප්‍රතිශතය 12.5%ක් ලෙස වාර්තා වීම නිසා එම තොගය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.

ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මීට පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) මගින් පමණක් ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කළ ද, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ද වෙනම පරීක්ෂණයක් සිදු කිරීම නිසා මෙවැනි ප්‍රමාදයන් සිදුවන බවයි. මෙම තොගය මාස එකහමාරක පමණ කාලයක සිට නිදහස් කර ගැනීමට නොහැකි වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරි කාලයේදී මෙරට වියළි මිරිස් හිඟයක් ඇතිවීමේ බරපතළ අවදානමක් මතුව තිබේ. රජයේ මැදිහත්වීමකින් තොරව මෙම තොග මුදා හැරීමට පියවර නොගතහොත් වෙළෙඳපොළේ මිරිස් මිල ඉහළ යා හැකි බවද ආනයනකරුවෝ අනතුරු අඟවති.

තවද, මෙම ගැටලුව හේතුවෙන් ඉන්දීය අපනයනකරුවන් ද ශ්‍රී ලංකාවට වියළි මිරිස් සැපයීම ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කිහිප වරක් සාකච්ඡා කළ ද තවමත් විසඳුමක් ලැබී නොමැති බව ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version