ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘වජ්‍ර ප්‍රභා’ මහෝත්සවය පසුගියදා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

1951 වසරේ සිට මෙරට ජාතික විභාග පද්ධතියේ කොඳු නාරටිය ලෙස කටයුතු කරන විභාග දෙපාර්තමේන්තුව, දරුවන්ගේ අනාගතය තීරණය කරන ප්‍රමුඛ ආයතනයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය. සමාජ සාධාරණත්වය තහවුරු කරමින්, හැකියාව සහ කැපවීම මත ඕනෑම අයෙකුට ඉදිරියට යා හැකි බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීමට මෙම ආයතනය ඉටුකරන මෙහෙවර ඇයගේ ඇගයීමට ලක්විය.

පසුගිය කාලසීමාවේදී රට තුළ පැවැති අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, උසස් පෙළ විභාගය ඇතුළු ජාතික විභාග කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට නිලධාරීන් දැක්වූ කැපවීම අග්‍රාමාත්‍යවරිය විශේෂයෙන් අගය කළාය. එමෙන්ම, ඉදිරියේදී සිදුකිරීමට නියමිත ගුරු සේවයේ බඳවා ගැනීමේ විභාග කටයුතු සාර්ථක කර ගැනීමට දෙපාර්තමේන්තුව ලබාදෙන සහයෝගය ද ඇයගේ පැසසුමට ලක්විය.

අනාගත අධ්‍යාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණය සහ ඩිජිටල්කරණය භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, තොරතුරු ආරක්ෂාව තහවුරු කරමින් කාර්ය මණ්ඩලයේ ධාරිතා වර්ධනයට රජය පියවර ගන්නා බවද සඳහන් කළාය. උත්සවයේදී සංවත්සර සමරු මුද්දරය සහ සංවත්සර සඟරාව එළිදැක්වීම මෙන්ම විශ්‍රාමික විභාග කොමසාරිස්වරුන් වෙත උපහාර තිළිණ ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සහ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version