ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සැසිවාරයේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරයා පත් කිරීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරිණි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ඉතිහාසය සහ නායකත්ව ගුණාංග පිළිබඳව ශිෂ්‍යයන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් ශිෂ්‍ය මන්ත්‍රීවරුන් වෙත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදල මගින් පාසල් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අදහස් දැක්වීය.

වැඩසටහන අවසානයේදී සිසුන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ පාසල සිහිවනු වස් වටිනා පැළයක් ලබා දීම ද සිදු විය. මෙම අවස්ථාව සඳහා පාසලේ විදුහල්පති කුසල ප්‍රනාන්දු මහතා ඇතුළු ගුරු භවතුන් සහ රජයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version