සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුව ඉලක්ක කර බැලැස්ටික් මිසයිල සහ ඩ්රෝන ප්රහාර මාලාවක් එල්ල වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙම ප්රහාරය තමන් විසින් දියත් කළ බව හූති සටන්කාමීන් තහවුරු කර තිබේ.
යේමනයේ සානා ඇතුළු ප්රදේශ කිහිපයකට සෞදි හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්රහාරවලට ප්රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්රියාත්මක කළ බව හූති හමුදා ප්රකාශක යාහ්යා සාරි සඳහන් කළේය. සිය ඉලක්ක සාර්ථකව සපුරා ගත් බවත්, ප්රහාරයට ලක්වූ ස්ථානවල ගිනිගැනීම් හටගත් බවත් ඔහු රූපවාහිනී ප්රකාශයක් මගින් කියා සිටියේය.
පසුගිය පැය 24ක කාලය තුළ යේමනයේ ප්රදේශවලට සෞදි ගුවන් ප්රහාර 60ක් එල්ල වී ඇති බවටද හූති සංවිධානය චෝදනා කරයි. කෙසේ වෙතත්, රියාද්හි ඇරම්කෝ පිරිපහදුවට එල්ල වූ බව කියන මෙම ප්රහාරය සම්බන්ධයෙන් සෞදි බලධාරීන් හෝ ඇරම්කෝ සමාගම මෙතෙක් නිල ප්රකාශයක් නිකුත් කර නොමැත.
2015 වසරේ සිට යේමනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දෙපාර්ශ්වය අතර නිරන්තරයෙන් මෙවැනි ප්රහාර වාර්තා වේ. මීට පෙර පසුගිය සතියේදීද යන්බු ප්රදේශයේ පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවක් ඉලක්ක කර හූතින් ප්රහාරයක් එල්ල කළ අතර, එහිදී මිසයිල හයක් ආරක්ෂක අංශ විසින් අහසේදීම විනාශ කිරීමට පියවර ගෙන තිබුණි.
