ඉදිරි වසර කිහිපය තුළ ලොව පුරා විද්‍යුත් වාහන භාවිතය පෙර නොවූ විරූ ලෙස ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිය නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි. ඔවුන් නිකුත් කළ ‘Global EV Outlook 2026’ වාර්තාවට අනුව, වත්මන් ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කළහොත් 2035 වසර වන විට ලොව පුරා විද්‍යුත් වාහන සංඛ්‍යාව මිලියන 450 ඉක්මවනු ඇත.

මෙම වර්ධනය 2025 වසරේ පැවති විද්‍යුත් වාහන සංඛ්‍යාව මෙන් පස් ගුණයක වැඩිවීමකි. විශේෂයෙන්ම චීනයෙන් පිටත රටවල නව සැහැල්ලු වාහන සඳහා හඳුන්වා දී ඇති කාබන් විමෝචන ප්‍රමිතීන් සහ ඉන්ධන කාර්යක්ෂමතා නීති මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් වී තිබේ.

විද්‍යුත් වාහන ව්‍යාප්තියත් සමඟ ලෝකයේ තෙල් ඉල්ලුමට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇත. 2025 වසරේදී විද්‍යුත් වාහන භාවිතය හේතුවෙන් දිනකට තෙල් බැරල් මිලියන 1.7ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වූ අතර, 2035 වසර වන විට එම ප්‍රමාණය දිනකට බැරල් මිලියන 9ක් දක්වා ඉහළ යා හැකි බව වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, විද්‍යුත් වාහන සංඛ්‍යාව ඉහළ යාම සමඟ ඒවා ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බල ඉල්ලුම ද විශාල ලෙස වර්ධනය වනු ඇත. 2025 වසරේදී ලෝකයේ සමස්ත විදුලි පරිභෝජනයෙන් 1%ක් විද්‍යුත් වාහන සඳහා වැය වූ අතර, 2035 වන විට එම අගය ටෙරාවොට් පැය 1,500 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ.

පාරිසරික වශයෙන් ගත් කල, විද්‍යුත් වාහන භාවිතය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි. ඉදිරි වසර 10 තුළ විද්‍යුත් වාහන භාවිතය වර්ධනය වීමෙන් ගිගාටොන් 7ක කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් වළක්වා ගැනීමට හැකි වනු ඇතැයි IEA ඇස්තමේන්තු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version