මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන සැපයුම් ජාලය දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ ප්‍රධාන ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් නිවේදනය කර ඇත.

මෙම ප්‍රහාර මාලාව මෙහෙයුම් තුනක් යටතේ සිදු කර ඇති බව ඔවුන් පවසයි. ඒ අනුව රියාද් අගනුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රතු මුහුදු වෙරළබඩ නගරයක් වන රබිග්හි පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුව ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන ස්ථාන අතර වේ.

එමෙන්ම අබ්හා ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කිං කාලිඩ් ගුවන් හමුදා කඳවුර සහ තවත් හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇති බව හූති කැරලිකරුවන් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරීන් මෙතෙක් නිල වශයෙන් කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version