ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබිණි. එම සිදුවීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන බව උන්වහන්සේලා එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය අහෝසි කිරීම හුදෙක් පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බවත්, එය ශාසනික කාර්යයක් බවත් මහානායක හිමිවරුන් පෙන්වා දෙති. සංඝ සභාවකින් තීරණයක් නොගෙන මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සම්බුද්ධ ශාසනයේ පැවැත්මට තර්ජනයක් බව උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කරති.

අධිකරණ තීන්දුවලට සහ බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින්, භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි ඥානසාර හිමියන් වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස මහානායක හිමිවරුන් බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version