බන්ධනාගාර තුළ භික්ෂූන් වහන්සේලා රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්රියාපටිපාටිය පිළිබඳ පවතින නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය. ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම කටයුතු අධ්යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්යාංශය, බෞද්ධ කටයුතු අමාත්යාංශය සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා පැවසීය. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එහිදී මහා සංඝරත්නයේ අදහස් ද සැලකිල්ලට ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
1877 බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින වර්තමාන නීති පද්ධතිය පොදු සිරකරුවන් ඉලක්ක කරගෙන සකස් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් විශේෂ රෙගුලාසි නොමැති වීම ගැටලුවක් බව පෙන්වා දුන්නේය. තනි පුද්ගලයන් වෙනුවෙන් නීතිය වෙනස් කරනවා වෙනුවට, වර්තමානයට උචිත පරිදි නීති පද්ධතියම සංශෝධනය කිරීම රජයේ අරමුණ බව ඔහු අවධාරණය කළේය.
පූජ්ය ගලගොඩඅත්තේ ඤානසාර හිමියන් සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ සිදුවීම පාදක කරගනිමින් මහානායක හිමිවරුන් යොමු කළ ලිපිය සහ ඒ පිළිබඳ සමාජයේ ඇති වූ කම්පනය සැලකිල්ලට ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි. බන්ධනාගාර නිලධාරීන් පවතින නීතියට අනුව කටයුතු කළද, එම නීති වර්තමාන සමාජ තත්ත්වයන්ට අනුරූප විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.
