ඖෂධ මිලදී ගැනීමේ ක්රියාවලියේදී සිදුවූ අක්රමිකතා සම්බන්ධයෙන් මීට පෙර ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ක්රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම නඩුව ගොනු කර ඇත. ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පසුගිය මාර්තු 27 වැනිදා ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව, හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් මිලියන 75ක වන්දියක් ද, හිටපු සෞඛ්ය ලේකම් ජනක චන්ද්රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ එහි ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර යන මහත්වරුන් රුපියල් මිලියන 50 බැගින් ද රජයට ගෙවිය යුතු බවට නියෝග කර තිබුණි.
කෙසේ වෙතත්, අදාළ පාර්ශවයන් එම නියෝගය ඉටු කිරීමට අපොහොසත් වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
එම නිසා, 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105(3) ව්යවස්ථාව යටතේ අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
