OpenAI සමාගමේ සැන් ෆ්‍රැන්සිස්කෝ පිහිටි කාර්යාලයක රහසිගතව හඬ පටිගත කිරීමේ උපකරණයක් සවි කිරීමේ චෝදනාව මත සෞදි ජාතික සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අබ්දුල්රහ්මාන් අල්ෆොසාන් නම් 35 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය ඔක්තෝබර් 9 වැනිදා අමෙරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාගමේ ආරක්ෂක අංශ විසින් පසුගිය මාසයේ අගභාගයේදී මෙම සැකකටයුතු උපකරණය සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව වහාම FBI ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, USB උපකරණයක් වැසිකිළි කඩදාසිවලින් ඔතා සමාගමේ විධායක සම්මන්ත්‍රණ කාමරයක රූපවාහිනියක් තුළ ඔහු සඟවා තබා ඇති බවයි.

අදාළ සම්මන්ත්‍රණ කාමරයට ඇතුළු වීමට හෝ එහි පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වීමට සැකකරුට අවසරයක් නොතිබූ බවත්, ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ ඔහු කිහිප වතාවක්ම එම ස්ථානය අසල ගැවසෙනු දක්නට ලැබුණු බවත් අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම, ඔහුගේ බෑගයක තිබී තවත් උපකරණයක් සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, OpenAI සමාගම පවසන්නේ සමාගමේ AI මාදිලිවල අභ්‍යන්තර දත්ත, මූලාශ්‍ර කේත හෝ පාරිභෝගික තොරතුරු ඔහු අතින් කාන්දු වූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් සැකකරුට වසර පහක සිරදඬුවමක් සහ අමෙරිකානු ඩොලර් 250,000ක දඩයක් නියම විය හැකි අතර, ඔහු ඔක්තෝබර් 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version