ග්වාතමාලාවේදී මියගිය බවට සැකපිට අවමංගල්ය කටයුතු සූදානම් කරමින් සිටි 15 හැවිරිදි දැරියක් මිනී පෙට්ටිය තුළදී නැවත පණ ලැබීමේ අසාමාන්ය සිදුවීමක් වාර්තා වී තිබේ. යූලෙයිඩි ඉක්සොටොයාක් නම් මෙම දැරිය හදිසියේම සිහිසුන් වීමෙන් පසු ඇය මියගොස් ඇති බව පවුලේ අය විසින් වැරදියට තීරණය කර ඇත.
සිද්ධිය වූ දිනයේ අලුයම දැරිය සිය පියා සමඟ ගමන් කරමින් සිටියදී සිහිසුන් වී තිබේ. එහිදී දැරියගේ ස්පන්දනයක් හෝ හුස්ම ගැනීමක් නොදැනුණු බව පවසන ඇගේ පියා, ඇයව වෛද්යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමකින් තොරව මියගිය බවට තහවුරු කරගෙන ඇත.
පසුව නිවසේදී අවමංගල්ය කටයුතු පැවැත්වෙමින් තිබියදී, දැරියගේ මව මිනී පෙට්ටිය අසල වැළපෙමින් සිටියදී එහි චලනයක් දැනී තිබේ. වහාම පියන විවෘත කිරීමේදී දැරිය ඇස් විවෘත කර නැගිට වාඩි වී සිටිනු දැක පවුලේ අය මවිතයට පත්වූහ.
තමන් සිහිසුන් වීමට පෙර හදවතේ දැඩි වේදනාවක් සහ බර ගතියක් දැනුණු බව දැරිය පවසා ඇත. වෛද්ය සහතිකයක් හෝ නිල තහවුරු කිරීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබේ. මේ වන විට දැරිය නිවසේ සිට සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
