ශ්රී ලංකාවේ ගුවන් ගමන් පථයන් ආසන්නයේ සරුංගල් යැවීම, ඩ්රෝන යානා ක්රියාත්මක කිරීම, අහස් කූඩු මුදා හැරීම සහ ලේසර් කිරණ භාවිතය වැනි ක්රියාකාරකම් හේතුවෙන් ගුවන් යානා සහ මගීන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජන එල්ල වී තිබේ. ගුවන් ගමනාගමන පාලන (ATC) අංශයේ ජ්යෙෂ්ඨ කළමනාකරු ජූඩ් පීරිස් මහතා පෙන්වා දෙන්නේ, මෙවැනි නොසැලකිලිමත් ක්රියා නිසා ගුවන් නියමුවන් සහ ගුවන් ගමනාගමන පාලකවරුන් දැඩි අපහසුතාවයට පත්වන බවයි.
මෑතකදී අඩි 1,500ක් වැනි ඉහළ උසක සරුංගල් යවා ඇති අවස්ථා වාර්තා වී ඇති අතර, රාත්රී කාලයේ LED විදුලි පහන් සවි කළ විශාල සරුංගල් ඩ්රෝන යානා ලෙස වරදවා වටහාගත් අවස්ථා ද පවතී. විශේෂයෙන් රාත්රී කාලයේ ගුවන් යානා දෙසට ලේසර් කිරණ යොමු කිරීම නියමුවන්ගේ දෘශ්ය හැකියාවට බාධා ඇති කරන අතර, එය ගුවන් යානයක ගැටීමක් හෝ අනතුරක් සිදුවීමට හේතු විය හැකි බව පීරිස් මහතා අවධාරණය කරයි.
ගුවන් තොටුපළක මායිමේ සිට කිලෝමීටර් පහක අරයක් ඇතුළත මෙවැනි වස්තූන් අහසට මුදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එම කලාපයෙන් පිටතදී වුවද අඩි 300කට වඩා ඉහළට සරුංගල් හෝ බැලූන් යැවීම සඳහා අදාළ බලධාරීන්ගෙන් පූර්ව අවසර ලබා ගැනීම අනිවාර්ය වේ.
මෙවැනි අනතුරුදායක සිදුවීම් වාර්තා වූ විට ඒවා පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ සහ ගුවන් තොටුපළ බලධාරීන්ට විශාල ශ්රමයක් සහ කාලයක් වැය කිරීමට සිදුවේ. එබැවින්, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, ගුවන් තොටුපළ ආශ්රිත ප්රදේශවල දරුවන් සහ මහජනතාව මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.
