මත්ද්රව්ය ජාවාරම් සහ සැකකටයුතු ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ක්රියාත්මක වන 1818 ක්ෂණික ඇමතුම් සේවාවේ ඉදිරි කටයුතු සහ එහි ප්රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
‘මුළු රටම එකට’ යන ජාතික වැඩසටහනට සමගාමීව හඳුන්වා දී ඇති මෙම සේවාව මගින්, මත්ද්රව්ය ජාවාරම් සහ බෙදාහැරීම් පිළිබඳව ආරක්ෂක අංශ වෙත නිවැරදි තොරතුරු වාර්තා කිරීමට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව හිමිවේ. තොරතුරු සපයන්නන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්යභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
ලැබෙන තොරතුරු මත කඩිනමින් නීතිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය විධිවිධාන සලසා ඇති අතර, මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ ‘මුළු රටම එකට’ ජාතික ක්රියාකාරී මණ්ඩලයේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි.
එළඹෙන නොවැම්බර් 05 වන දිනට ‘මුළු රටම එකට’ ජාතික වැඩසටහන ආරම්භ වී වසරක් සපිරේ. ඒ වෙනුවෙන් මත්ද්රව්යවලින් තොර සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ඉදිරි කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ත්රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
