රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සටන් වැද තුවාල ලැබූ රණවිරුවන්ගේ නිර්මාණශීලී කුසලතා ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘බ්‍රේව් හාට්ස්’ කලා ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය පසුගිය ඔක්තෝබර් 14 වන දින කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියේය. රණවිරුවන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මිහිඳු සෙත් මැදුර සහ අභිමන්සල 1, 2 හා 3 පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් සහ අත්කම් නිර්මාණ රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. ඔවුන්ගේ අත්දැකීම් සහ නිර්මාණශීලී චින්තනය මැනවින් විදහා දැක්වීමට මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් විය.

ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංගීත ප්‍රසංගයේදී අභිමන්සල රණවිරුවන් ඉදිරිපත් කළ ගීත, සංගීත සහ නර්තන අංග ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ඇගයීමට ලක්විය. මෙමගින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම සහ සමාජ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ඇත.

රණවිරුවන්ගේ මානසික සුවතාවය සහ සුභසාධනය වෙනුවෙන් මෙවැනි වැඩසටහන්වල ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version