යුරෝපා සංගමයේ ‘Global Gateway’ ආයෝජන ක්රමෝපාය යටතේ ශ්රී ලංකාවේ ආර්ථික සහ කාර්මික සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට යුරෝපා කොමිසමේ ආසියා, මධ්යම ආසියා සහ පැසිෆික් කලාපය භාර අධ්යක්ෂ පීටරිස් උස්ටබ්ස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. මෙරට සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීම සහ ඔවුන්ට ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට අවශ්ය මඟපෙන්වීම ලබාදීමේ වැදගත්කම නියෝජ්ය අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම නව ව්යවසායකයන් දිරිගැන්වීම සඳහා ‘Startup Incubators’ හෙවත් නව ව්යවසායකත්ව පූර්ව-වර්ධන මධ්යස්ථාන ස්ථාපිත කිරීමට අවශ්ය තාක්ෂණික සහ මූල්ය සහාය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, දක්ෂ ශ්රම බලකාය සහ විනිවිදභාවයෙන් යුත් පාලන ක්රමවේද ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට ඉවහල් වන බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ ප්රතිසංස්කරණ වැඩසටහන් සාර්ථකව ක්රියාත්මක කිරීම තුළින් ශ්රී ලංකාව ආයෝජන සඳහා නිවැරදි දිශාවට ගමන් කරන බව පීටරිස් උස්ටබ්ස් මහතා මෙහිදී අගය කළේය. දකුණු ආසියාවේ බලශක්ති සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ප්රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.
රටේ කාර්මික පද්ධති නවීකරණය කිරීමට සහ විදේශ ආයෝජන දිරිමත් කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ නියෝජ්ය අමාත්යවරයා, යුරෝපා සංගමය මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර