ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ නමැති ඇතාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට මහාචාර්යවරුන් වන ටී. සමින්ද ප්රනාන්දු, ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, යූ.කේ. කාලිංග පද්මලාල් යන මහත්වරුන් ඇතුළු විශේෂඥයින් පිරිසක් ඇතුළත් වේ. මීට අමතරව ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරුන්ද මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.
මෙම කමිටුවට පැවරී ඇති ප්රධාන වගකීම් අතර ඇතාගේ මරණයට හේතු වූ කරුණු, ප්රතිකාර ක්රියාවලියේදී සිදුවූ අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් පිළිබඳව සොයා බැලීම සහ වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම වේ.
එමෙන්ම, ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමද මෙම කමිටුවට පැවරී ඇත. අවශ්ය වුවහොත් දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමටද කමිටුවට බලය පවරා තිබේ.
අදාළ විමර්ශන වාර්තාව, යෝජිත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ජාතික වැඩසටහනට අදාළ නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතය.
