මඩකලපුව, වාළච්චේන මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස මුහුදු පතුලේ සඟවා තිබූ සුරුක්කු දැල් තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. නාවික හමුදාවට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (20) දින මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එහිදී මුහුදේ ගිල්වා සඟවා තිබූ සුරුක්කු දැල් කාණ්ඩ තුනක් නාවික හමුදා භාරයට ගැනීමට හැකිව තිබේ. අත්අඩංගුවට ගත් මෙම දැල් තොගය වැඩිදුර විමර්ශන සඳහා වාළච්චේන ධීවර පරීක්ෂකවරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ.

අදාළ නීතිවිරෝධී දැල් තොගය ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා හෙට (22) දින වාළච්චේන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වාකරේ, වාළච්චේන සහ කළුවංකේණි යන මුහුදු තීරයන්හි මෑතකාලීනව නීතිවිරෝධී සුරුක්කු දැල් භාවිතයෙන් සිදුකරන ධීවර කටයුතු ඉහළ ගොස් ඇති බව බලධාරීහු පෙන්වා දෙති.

මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු වැටලීමට යන ධීවර නිලධාරීන්ට විවිධ ජීවිත තර්ජන පවා එල්ල වන බවත්, මීට පෙරද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති බවත් සඳහන් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version