කලක් ගල්ගමුවේ ගැටදිවුල-කාසිකොටේ ප්‍රදේශයේ අලි රංචුවකට මාර්ගය හරහා ගමන් කිරීමට මඟ පෙන්වූ ප්‍රකට දළ ඇතා වූ කාවන්තිස්සගේ වියෝවෙන් පසු එම රංචුව මුහුණ දෙන අසරණ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී වීඩියෝ දර්ශන කිහිපයක් ප්‍රචාරය වෙමින් පවතී.

කාවන්තිස්ස ජීවත්ව සිටි සමයේ අනුරාධපුර – කොළඹ ප්‍රධාන මාර්ගය හරහා අලි රංචුව සමඟ ගමන් කිරීමේදී ඔහු දැක්වූ හැසිරීම් රටාව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි. වාහන ගමන් කරන මාර්ගය හරහා රංචුවට ආරක්ෂිතව යාමට ඉඩ සලසමින්, වාහන නතර වන තෙක් රැඳී සිටීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණයක් විය. ඇතැම් අවස්ථාවල ප්‍රදේශවාසීන්ගේ සහාය ද ඊට ලැබුණු අතර, මාර්ගය පසු කිරීමෙන් පසු ඔහු මිනිසුන් දෙසට හොඬය ඔසවමින් ප්‍රතිචාර දැක්වීම ද බොහෝ දෙනාට හුරුපුරුදු දසුනක් විය.

කෙසේ වෙතත්, මේ වන විට කාවන්තිස්ස නොමැතිව එම අලි රංචුව මාර්ගය අසල රැඳී සිටින ආකාරය දැක්වෙන දසුන් වනජීවී ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. මෙම සිදුවීමත් සමඟ මිනිස් ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශ හරහා අලි ඇතුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම යළිත් කරළියට පැමිණ තිබේ.

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමේ අරමුණින් මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ආශ්‍රිතව ඉදිකළ උමං මාර්ගය පිළිබඳව ද මේ වන විට විවිධ මත පළවෙමින් පවතී. වැඩිහිටි අලි ඇතුන්ට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි මෙම උමං මාර්ග සැලසුම් කර තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, ස්වාභාවික ගමන් මාර්ග ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවත් විශේෂඥයින් පෙන්වා දෙයි.

කාවන්තිස්සගේ වියෝවෙන් පසු මතු වූ මෙම තත්ත්වය, මිනිසුන් සහ වන සතුන් අතර පවතින ගැටුම් අවම කරමින් ඔවුන්ගේ වාසස්ථාන හා ගමන් මාර්ග සුරක්ෂිත කිරීමේ හදිසි අවශ්‍යතාව යළිත් වරක් සිහිපත් කර දෙන්නකි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version