ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස සේවය කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සුරංජිත් සිල්වා කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට බ්‍රෝඩ්මැඩෝස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු වී ඇත.

පනස් එක් හැවිරිදි වියේ පසුවන සිල්වාට එරෙහිව මෙම චෝදනාව එල්ල වී ඇත්තේ 2025 ජනවාරි 26 වැනි දින සන්බරි ප්‍රදේශයේදී සිදු වූ බව කියන සිද්ධියක් මුල් කර ගනිමිනි. අදාළ කාන්තාවගේ ඉණ ප්‍රදේශයෙන් අල්ලා ඇගේ බෙල්ල සිපගනිමින් අනවශ්‍ය ශාරීරික ස්පර්ශයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

තමාව අතවරයට පත්කිරීම හේතුවෙන් දැඩි මානසික පීඩනයකට සහ අනාරක්ෂිතභාවයකට මුහුණ දීමට සිදු වූ බවත්, වෙනත් පුද්ගලයන් සමඟ සමීපව කටයුතු කිරීමේදී පවා බියක් ඇති වූ බවත් වින්දිත කාන්තාව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා ඇත්තේ මෙම සිදුවීම ක්ෂණිකව සිදුවූ අත්වැරැද්දක් බවයි. විත්තිකරුට මීට පෙර වැරදි ඉතිහාසයක් නොමැති බවත්, මෙම තීන්දුව ඔහුගේ ව්‍යාපාරික කටයුතු සහ වීසා තත්ත්වයට බලපෑ හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.

පොලිස් පාර්ශ්වය සඳහන් කර ඇත්තේ විත්තිකරු මේ වන තෙක් කිසිදු පසුතැවීමක් ප්‍රකාශ කර නොමැති බවයි. මීට වසර දහයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දෙදරු පියකු වන ඔහු එරට ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මෙන්ම ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.

මෙම නඩුවට අදාළ දඬුවම් නියම කිරීමට පෙර සමාජ විශෝධන නියෝගයක් ලබාදීම සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, නඩුවේ අවසන් තීන්දුව සහ දඬුවම් ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 26 වැනි දාට කල් තබා තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version