ඩිට්වා ආපදාවෙන් හානියට පත් ප්‍රදේශවල කිරි ගවයන් සඳහා සාන්ද්‍රිත සත්ව ආහාර සහ ඛනිජ මිශ්‍රණ බෙදා දීමේ වැඩසටහන පසුගියදා මහනුවර, තලතුඔය පශු වෛද්‍ය කොට්ඨාසයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් හරහා මෙම සහන වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් මිලියන 278ක මුදලක් වෙන් කර ඇති අතර, මෙහි සමස්ත අරමුණ වන්නේ ආපදාවෙන් කඩා වැටුණු කිරි ගොවි කර්මාන්තය යළි නගා සිටුවීම සහ ගොවීන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමයි.

මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ අනෙකුත් පළාත්වල ආපදාවට ලක්වූ කිරි ගොවීන් සඳහා ද සත්ව ආහාර සහන ලබා දීමට පියවර ගෙන ඇත. කිරි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණකි.

උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පශු සම්පත් ක්ෂේත්‍රයේ නවීකරණයන් සහ ගොවීන්ගේ දැනුම වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවයි. දේශීය කිරි නිෂ්පාදනය දැනට පවතින 40%ක මට්ටමෙන් ඉහළ නැංවීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම, සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය දේශීයව වැඩි කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය පොහොර සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version