වරකාපොළ, අල්ගම, මධුරුපිටිය ප්‍රදේශයේදී සිය සුරතල් පූසෙකු බේරා ගැනීමට උත්සාහ කළ 32 හැවිරිදි කාන්තාවක් ළිඳකට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පසුගිය ඔක්තෝබර් 20 වන දින රාත්‍රී කාලයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ.

නිවසේ පසුපසින් පූසෙකුගේ හඬක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී, පූසෙකු ළිඳකට වැටී සිටිනු ඇය දැක ඇත. ඒ අනුව ඇය සිය පියා සමඟ ළිඳ අසලට ගොස් ජංගම දුරකථනයේ ආලෝකය භාවිතා කරමින් පූසා බේරා ගැනීමට උත්සාහ කර තිබේ.

පියා බාල්දියක් ආධාරයෙන් පූසා ගොඩ ගැනීමට සූදානම් වෙද්දී, ළිඳ තුළට ආලෝකය ලබා දීමට උත්සාහ කළ එම කාන්තාව අවාසනාවන්ත ලෙස ලිස්සා ළිඳ තුළට වැටී ඇත. එහිදී ඇයගේ හිස ළිඳේ කොන්ක්‍රීට් කොටසේ ගැටී බරපතල තුවාල සිදුව තිබේ.

පසුව ඥාතීන්ගේ සහාය ඇතිව ඇයව ගොඩගෙන වතුපිටිවල රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. මියගිය කාන්තාව ගලගෙදර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version