පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ ප්රධාන ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ප්රදේශයකින් ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා අද (26) මාධ්ය වෙත අදහස් දක්වමින් ප්රකාශ කළේය.
කැලණි ගඟ සහ කළු ගඟ ඇතුළු ප්රධාන ගංගා කිහිපයක ජල මට්ටමද මේ වන විට ඉහළ යමින් පවතී. අනුරාධපුරය, ත්රිකුණාමලය, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය සහ රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5,300ක ජල ප්රමාණයක් සහ රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 2,300කට ආසන්න ජල ප්රමාණයක් මේ වන විට මුදාහරිමින් පවතින බව වාර්තා වේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට අනුව ඉදිරියේදී නිරිතදිග ප්රදේශවලට තද වැසි ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම යාපනය සහ මන්නාරම වැනි ප්රදේශවලට කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබුණහොත් පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
එබැවින්, ගංගා ද්රෝණි ආශ්රිතව සහ පහත් බිම්වල ජීවත් වන ජනතාව කාලගුණික වෙනස්කම් සහ ජල මට්ටම් ඉහළ යාම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර