රටක අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය අධ්‍යාපනය බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනතාව අතරට ගෙන යාමේදී මාධ්‍ය ආයතන සතු වගකීම අතිමහත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ඇය මේ බව සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තොරතුරු ලබා දෙන ‘RIES’ (Reform Information & Enquiry Service) නිල වෙබ් අඩවිය එළිදක්වමිනි.

මෙම නව ප්‍රතිසංස්කරණ හුදෙක් විෂයමාලා වෙනසකට පමණක් සීමා නොවී, සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයේම පරිවර්තනයක් අරමුණු කරගත් ජාතික කර්තව්‍යයක් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. එහි පළමු අදියර දැනටමත් පළමු ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කර ඇති අතර, 2027 වසරේදී 6 වන ශ්‍රේණිය දක්වා මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජනතාවට පවතින ගැටලු සහ තොරතුරු https://edureformfact.moe.gov.lk වෙබ් අඩවිය හරහා යොමු කළ හැකි බව අමාත්‍යාංශය පවසයි. දරුවන්ගේ අධ්‍යාපනය දේශපාලන පොර පිටියක් කර නොගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අනු කමිටුවේ සභාපති මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා පෙන්වා දුන්නේ, කටපාඩම් කිරීම මත පදනම් වූ විභාග කේන්ද්‍රීය ක්‍රමයෙන් මිදී සිසුන්ගේ විශ්ලේෂණාත්මක හා නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන ඉගෙනුම් ක්‍රමයක් කරා යොමුවීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බවයි.

13 වන ශ්‍රේණිය දක්වා කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් ගිලිහී නොයන පරිදි සාමාන්‍ය, වෘත්තීය සහ තෘතීයික අධ්‍යාපනය එකිනෙක සම්බන්ධ කරන පුළුල් මාවතක් නිර්මාණය කිරීම ද මෙම වැඩසටහන හරහා සිදුවේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version