අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වූ සබරගමුව පළාතේ සිසුන් වෙනුවෙන් විශේෂ සහනයක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් එම පළාතේ බොහෝ සිසුන්ට නියමිත විභාග මධ්යස්ථාන වෙත ළඟා වීමට බාධා මතුවී තිබුණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් මෙම තීරණය නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, ගංවතුර තත්ත්වය පහව ගිය පසු අදාළ විභාග මධ්යස්ථානය වෙත ගොස් ප්රායෝගික පරීක්ෂණයට පෙනී සිටීම සඳහා නව දිනයක් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව පවතින බවයි.
එබැවින් සිසුන් හෝ දෙමාපියන් මේ පිළිබඳව අනවශ්ය ලෙස කලබල විය යුතු නැති බවත්, විභාග කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අවශ්ය සියලු පහසුකම් සලසා දෙන බවත් බලධාරීන් වැඩිදුරටත් පවසයි.
