ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ ප්රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ලෝක බෞද්ධ සංඝ සභාවේ සංවිධායක කමිටුවේ සභාපති පූජ්ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි, මහලේකම් පූජ්ය ආචාර්ය මාඉටිපේ විමලසාර මහා නාහිමි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සම්මේලනය නොවැම්බර් මස 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කැලණිය නාගානන්ද බෞද්ධ විශ්වවිද්යාලයේදී ආරම්භ වීමට නියමිතය. දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවේ වැඩසටහන් කිහිපයක් අනුරාධපුර සහ මහනුවර නගර කේන්ද්ර කරගනිමින් ද ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම සමුළුව සඳහා විදේශීය බෞද්ධ රටවල් නියෝජනය කරමින් දූත කණ්ඩායම් 600කට අධික සංඛ්යාවක් සහ දේශීය හා විදේශගත ශ්රී ලාංකික නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. සහභාගී වන සියලුම භික්ෂූන් වහන්සේලාගේ සහ දූත පිරිස්වල ආරක්ෂාව, වෛද්ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
සමුළුවට සමගාමීව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් වෙහෙර විහාරස්ථාන 15ක් ප්රතිසංස්කරණය කිරීම සඳහා එක් විහාරස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් පරිත්යාග කිරීමට ලෝක බෞද්ධ සංඝ සභාව තීරණය කර ඇත. මෙම සමුළුව හරහා සංචාරක ව්යාපාරය නංවාලීමට සහ විදේශ විනිමය ඉපැයීම් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවන බව ද සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
