කළුතර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් එම මාර්ගයේ බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ.

පසුගිය 27 වන දින රාත්‍රී 9.30ට පමණ කළුතර උතුර පොලිස් වසමට අයත් නාගසන්ධිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ. යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරු සහයකවරයා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් සහ ඊට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ප්‍රදේශයේ බස් රථ සේවකයින් සේවයෙන් ඉවත් වී උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති. මේ හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version