මිද්දෙණියේ කජ්ජා ලෙස ප්රකට අරුණ විදානගමගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකාරියක් වන අනෝෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ එක්සත් අරාබි එමීර් රාජ්යයේදී අත්අඩංගුවට ගෙන ශ්රී ලංකාවට රැගෙන විත් ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඇයව මෙරටට රැගෙනවිත් ඇති අතර, අධිකරණ නියෝග මත දින තුනක් රඳවාගෙන ප්රශ්න කිරීමට නියමිතය.
ජාත්යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් මත මාස තුනකට පෙර ඇයව එමීර් රාජ්යයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, 2025 වසරේ පෙබරවාරි මස සිදුවූ මෙම ත්රිත්ව ඝාතනය සඳහා කජ්ජා සහ දරුවන් ගල්පොත්තයාය ප්රදේශයේ හෝටලයකට ගෙන්වා ගැනීමට දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ මෙම සැකකාරිය විසිනි.
ඇය කජ්ජා සමඟ සමීප සබඳතා පවත්වමින් සිටියදී, බැකෝ සමන් ඇතුළු පාතාල කල්ලිය විසින් සිදුකළ මෙම ප්රහාරය සඳහා පූර්ණ සහාය ලබා දී ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත. මෙම ඝාතනය රුපියල් ලක්ෂ පහක කොන්ත්රාත්තුවක් මත සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
මියගිය කජ්ජා මීට පෙර රටේ ආන්දෝලනාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සිදුකළ පුද්ගලයෙකි. එම හෙළිදරව් කිරීම්වලින් දින කිහිපයකට පසු ඔහු සහ දරුවන් මෙලෙස ඝාතනයට ලක්වීම එකල විශාල කතාබහක් ඇති කළේය.
