මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය කාලයේ ඇතිවූ දරුණු ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකළ විශේෂ විමර්ශන වාර්තාවක් මගින් බරපතළ කරුණු රැසක් අනාවරණය කර ඇත. මෙම ගැටුමට ප්‍රධාන හේතුව ලෙස රැඳවියන් අතර පැවති අභ්‍යන්තර ආරවුල් සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ තොරතුරු නිලධාරීන්ට ලබාදීම හඳුනාගෙන තිබේ.

වාර්තාවට අනුව, ජූලි මස 05 වනදා සිට 06 වනදා දක්වා කාලය තුළ බන්ධනාගාරයේ අභ්‍යන්තර පාලනය සම්පූර්ණයෙන්ම රැඳවියන් අතට පත්වී තිබුණි. මෙම කාලය තුළ බන්ධනාගාර රෝහල සහ විනය අංශය බිඳදමා එහි තිබූ ඖෂධ සහ මත්ද්‍රව්‍ය ලබාගැනීමට රැඳවියන් කටයුතු කර ඇත. එම ඖෂධ කාන්තා රැඳවියන් වෙතද ලබාදීම හේතුවෙන් ඔවුන්ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

මෙම සිදුවීම් මාලාවේදී රැඳවියන් විසින්ම තවත් රැඳවියන් පිරිසක් ඝාතනය කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ නිලධාරීන්ටද අමානුෂික ලෙස පහරදී ඇත. බන්ධනාගාර පාලනාධිකාරියට මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක, අවසානයේ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට සිදුවිය.

බන්ධනාගාර පාලනාධිකාරියේ අසමත්කම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරන මානව හිමිකම් කොමිෂන් සභාව, මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ 8ක් ඉදිරිපත් කර ඇත. වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version