තම පෞද්ගලිකත්වයට සහ කීර්තිනාමයට හානි වන අයුරින් කිංග්ස්බරි හෝටලයේ CCTV දර්ශන සංස්කරණය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් එම හෝටලයට නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර ඇත.

පසුගිය ඔක්තෝබර් 24 වන දින තමන් හෝටලයට පැමිණි අවස්ථාවේ පටිගත වූ දර්ශන විකෘති කර, තමා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම හෝටල් කාමරයකට ඇතුළු වූ බවට වැරදි වැටහීමක් ඇති වන අයුරින් අන්තර්ජාලයට මුදා හැර ඇති බව සරත් වීරසේකර මහතා පවසයි. මෙම දර්ශන හෝටලයේ පාලනය යටතේ පවතින බැවින්, ඒවායේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරිත්වයට වගකීමක් ඇති බව නීතිඥවරුන් පෙන්වා දෙයි.

අදාළ දර්ශන සංස්කරණය කර ප්‍රචාරය කිරීම සඳහා විවිධ සමාජ මාධ්‍ය පිටු සහ යූටියුබ් නාලිකා හයක් සම්බන්ධ වී ඇති බවත්, එමගින් තමන් දැඩි මානසික පීඩාවකට සහ අපහාසයකට ලක්ව ඇති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ 20 වැනි වගන්තිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් ඇති බව ඔහු අවධාරණය කර තිබේ.

දින 7ක් ඇතුළත සිය ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීමටත්, පොලිසිය, අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව සහ සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පැමිණිලි කිරීමටත් කටයුතු කරන බව එම එන්තරවාසිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version