කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. ගන්නොරුව කෘෂිකාර්මික කලාපයේ ඉදිකර ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම නව කාර්යාලය හරහා බීජ පර්යේෂණ කටයුතු සහ බීජවල ගුණාත්මකභාවය පිළිබඳ වාර්තා ලබාදීම ඇතුළු සේවාවන් රැසක් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට ලබාගත හැකි වේ. මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

උත්සව සභාව අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, බීජ යනු කෘෂිකාර්මික දාමයේ මූලික අඩිතාලම බවයි. එම අඩිතාලම ශක්තිමත් කිරීමෙන් සමස්ත කෘෂිකර්මාන්තයම නඟාසිටුවිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, දැනට ක්‍රියාත්මක වන ‘යාය 500’ වැඩසටහන ‘යාය 5,000’ දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත්, නවීන තාක්ෂණයෙන් යුත් පොහොර වර්ග හඳුන්වා දෙමින් කෘෂි ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමට කටයුතු කරන බවත් පැවසීය. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරමින් රාජ්‍ය සේවක සුබසාධනය ඉහළ නැංවීමට රජය කැපවී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version