අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2027 වසරේදී 6 වන සහ 2 වන ශ්‍රේණි සඳහා නව විෂයමාලා සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති විශේෂ අමාත්‍යාංශ කාරක සභා රැස්වීමකදී මේ බව අනාවරණය විය.

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 සහ 2 ශ්‍රේණි සඳහාත් මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල සකස් කිරීම මෙන්ම පාසල්වල ඩිජිටලීකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

සාම්ප්‍රදායික කටපාඩම් කිරීමේ ක්‍රමයෙන් ඉවත් වී ඉගෙනුම් ඵල පාදක සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමවේදයක් කරා යෑම මෙම නව ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වී තිබේ. වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් මඟින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමටත්, විභාග බර ලිහිල් කිරීමටත් මෙහිදී අපේක්ෂා කරයි.

පොදු අධ්‍යාපනයේ අරමුණ හුදෙක් වෙළඳපොළට ශ්‍රමිකයන් බිහි කිරීම පමණක් නොවන බවත්, ගුණගරුක හා පරිපූර්ණ පුරවැසියන් නිර්මාණය කිරීම බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු සඳහා විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි පදනම් කර ගනිමින් තීරණ ගත යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රවීණයෝ පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version