මෙරටින් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සපිරීම වෙනුවෙන් විශේෂ සර්ව ආගමික සමුළුවක් හෙට (05) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා ආගමික නායකයන්ගේ මඟපෙන්වීම ලබාගැනීම සහ සමස්ත සමාජයේ සාමූහික දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
රජය විසින් ආරම්භ කරන ලද මෙම ජාතික වැඩපිළිවෙළ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම සහ ජාවාරම් ජාල බිඳ දැමීම මෙහි මුල් තැන ගනී.
පොලිස් වාර්තාවන්ට අනුව, වැඩපිළිවෙළ ආරම්භ කළ පළමු වසර තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 310,984ක් සිදු කර ඇති අතර, සැකකරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එම වැටලීම්වලදී ටොන් 18කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වසරක කාලය තුළ නාවික හමුදාව පමණක් රුපියල් බිලියන 109ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සඳහන් කළේය.
