ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේදී පෙරේදා (02) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ටී-56 ගිනි අවියක් භාවිතයෙන් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මියගිය නාවික සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු අයෙකි. නිවාඩු ලබා නිවසට පැමිණ සිටි ඔහු, අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ත්‍රිරෝද රථයක් කුලී පදනම මත ධාවනය කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත. පොලිස් විමර්ශනවලට අනුව, ඔහු මෙම ප්‍රහාරයේ සැබෑ ඉලක්කය නොවන බවත්, ඔහු හුදෙක් කුලී රියදුරෙකු ලෙස සේවය කළ අයෙකු බවත් තහවුරු වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරයි. දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහිබාලේ’ නැමැත්තා සහ තුවාල ලැබූ ‘ඩැරල්’ නැමැත්තා අතර මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ මුදල් සම්බන්ධයෙන් පැවති ආරවුලක් මෙම ඝාතන ප්රයත්නයට හේතු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඩුබායි රාජ්‍යයේ සිටි ජාවාරම්කරුවෙකු විසින් මත්ද්‍රව්‍ය තොගයක් ලබාගැනීමට කප්පල්තුරේ ප්‍රදේශයට පැමිණෙන ලෙස ඩැරල්ට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එම ඇමතුම මත ඩැරල් සිය ගෝලයෙකුද සමඟ ත්‍රිරෝද රථයෙන් එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී සැඟවී සිටි පාතාල කුලී ඝාතකයා වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇත. ත්‍රිකුණාමලය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
