ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක නාගපට්ටිනම් – කන්කසන්තුරේ මගී ප්‍රවාහන නෞකා සේවාවේ ගාස්තු අඩු කිරීමට ‘සුභම්’ නෞකා සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව, එක් අතකට අය කරන ගාස්තුව ඉන්දීය රුපියල් 6,000 සිට 5,500 දක්වා රුපියල් 500කින් අඩු කර තිබේ.

මෙම නව සහනය උත්සව සමය වෙනුවෙන් මගීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ලබා දී ඇත. මීට අමතරව, මගීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 30ක බරකින් යුත් භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමට ද අවස්ථාව සලසා දී තිබේ.

මීට පෙර නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා කිලෝග්‍රෑම් 10ක් සහ කන්කසන්තුරේ සිට නාගපට්ටිනම් දක්වා කිලෝග්‍රෑම් 15ක් ලෙස පමණක් නොමිලේ භාණ්ඩ රැගෙන යාමට අවසර තිබූ අතර, ඊට වැඩි බරක් සඳහා අමතර ගාස්තුවක් අය කරනු ලැබීය.

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ දෙරට අතර ආගමික, සංචාරක සහ වෙළඳ කටයුතු සඳහා මගීන් 55,310 දෙනෙකු මෙම නෞකා සේවාව භාවිතා කර ඇති බව නෞකා සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරි ශිවරාම් මහතා පවසයි.

සතියේ දින හයක් ක්‍රියාත්මක වන මෙම නෞකා සේවාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරන දින හැර අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version