කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (SARP) මගින් වැව් ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙමගින් පාරිසරික සමතුලිතතාවය සුරැකීම සහ ගොවි ප්‍රජාවගේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල හඳුනාගත් වැව් 46ක ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව හෙක්ටයාර 562.91ක භූමි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.

මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 413.9ක භූමියක පැළ 112,200ක් රෝපණය කර ඇති අතර, එම පැළවල නඩත්තු කටයුතු මේ වන විටත් සිදු කෙරේ. කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල රෝපණය කිරීමට නියමිත පැළ දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තවාන්වල සාර්ථකව වර්ධනය වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා මී, කුඹුක්, කරඳ, මාදං, කළුවර සහ සියඹලා වැනි දේශීය පරිසරයට ගැලපෙන ශාක විශේෂ තෝරාගෙන ඇත. ඉදිරියේදී මායිම් වැටවල් වගා කිරීම, ඒකාබද්ධ ගෙවතු වගාව සහ පේළි අතර වගා ක්‍රම වැනි විකල්ප ක්‍රමවේදයන් ද හඳුන්වා දීමට නියමිතය.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයකට 011 277 0986 යන දුරකථන අංකය ඔස්සේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඔරොත්තු දීමේ ව්‍යාපෘති කාර්යාලය ඇමතීමෙන් ලබාගත හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version