මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම (MINUSCA) යටතේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක භට පිරිස් පසුගිය ඔක්තෝබර් 26 වන දිනට යෙදුණු එක්සත් ජාතීන්ගේ 81 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව පැවති අන්තර් ඒජන්සි බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. එහිදී සමූහ කපිතාන් කසුන් සෙනෙවිරත්න සහ වරලත් නිලධාරී අයි.ජී.පී.සී. ප්‍රේමතිලක යන මහත්වරුන් පිරිමි ද්විත්ව අංශයේ ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයේදී ඉහළට ඔසවා තැබීය.

ක්‍රීඩා ඉසව්වලට අමතරව, සාම සාධක භටයන් විසින් ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් පානීය ජල බෙදා දීමේ මානුෂීය වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. බ්‍රියා නගරයට ආසන්න ගම්මානයක පවතින උග්‍ර පානීය ජල හිඟයට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ විය.

එමෙන්ම, ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් සහ දේශීය ආහාරපාන ඇතුළත් ප්‍රදර්ශනයක් ද මෙහිදී පැවැත්විණි. ශ්‍රී ලාංකේය නූඩ්ල්ස්, කිරි කොස් සහ ඉස්සන් කරිය වැනි සාම්ප්‍රදායික ආහාර වර්ග විදේශීය සාම සාධක භටයන් සහ ප්‍රදේශවාසීන් වෙත පිරිනැමීම විශේෂත්වයක් විය.

මෙම සැමරුම් අවස්ථාවන් තුළින් සාම සාධක භටයන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් බව ගුවන් හමුදාව පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version