රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් එහි ප්රතිලාභ වඩාත් කාර්යක්ෂමව ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ජාතික රක්ෂණ භාර අරමුදලේ (NITF) නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ, රාජ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා මෙම රක්ෂණාවරණය වඩාත් ප්රතිඵලදායී වැඩසටහනක් බවට පත්කිරීමේ අවශ්‍යතාවයි.
හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවකදී රාජ්‍ය සේවකයන්ට ශක්තිමත් රැකවරණයක් පවතින බවට විශ්වාසයක් ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්රතිලාභ ලබාගැනීමේදී පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සහ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය.
එමෙන්ම, සාමාන්‍ය, රිදී හා රන් රක්ෂණ යෝජනා ක්‍රම මෙන්ම විශ්‍රාමිකයන් සඳහා වන රක්ෂණ වැඩසටහන් ද කාලීන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමුවිය. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ නේවාසික ප්‍රතිකාර, ශල්‍යකර්ම, මාතෘ සෞඛ්‍ය සේවා මෙන්ම පිළිකා, හෘද රෝග සහ වකුගඩු රෝග වැනි බරපතළ රෝගාබාධ සඳහා ද ප්රතිලාභ හිමිවේ.
