කාවන්තිස්ස දළ ඇතාගේ අකල් මරණය සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව, මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකවරයාට එළඹෙන 19 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා නියෝග කර ඇත.
බෙස්ට් විෂන් ෆවුන්ඩේෂන් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහිත රාජකරුණා මහතා ඉදිරිපත් කළ මෝෂමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. ඇතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන සහ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක වැදගත්කම නීතිඥවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ගල්ගමුව ප්‍රදේශයේ අහිංසක ගොවි ජනතාවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, ඔවුන් ස්වේච්ඡාවෙන් තම ඉඩම් අලි කොරිඩෝව සඳහා වෙන් කර දී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. පිට පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් විසින් අලි ගමන් මාර්ග අවහිර කරමින් සිදුකරන ඉදිකිරීම් හේතුවෙන් අලි-මිනිස් ගැටුම් උග්‍ර වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වනජීවි දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවට සමාජය තුළ පවතින සැකය පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය විය. ඇතාගේ මරණයට සැබෑ වගකිව යුත්තන් කවුරුන්ද යන්න විධිමත් විමර්ශනයක් මගින් හෙළි කරගැනීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.
