ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සහ සමුද්‍රීය ක්ෂේත්රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම උදෙසා දකුණු කොරියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට එකඟතාව පළ වී ඇත. දකුණු කොරියාවේ බූසාන් නුවර පැවති ‘KICCOF – 2026’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සංචාරයේදී මිරිස්ස වරාය ධීවර හා සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමටත්, සමුද්‍රීය කසළ අවම කිරීමටත් කොරියානු පාර්ශ්වයේ මූලික එකඟතාව හිමිව ඇත. 2028 වසර වන විට මෙරට ධීවර ක්ෂේත්රයේ පුරෝකථන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව, සමුද්‍රීය ජෛව ගවේෂණය සහ නීල ජෛව තාක්ෂණය යන අංශවල ආයෝජනය කරන ලෙස කොරියානු ආයෝජකයින් වෙත ආරාධනා කෙරිණි. මෙම ජාත්‍යන්තර සහයෝගීතාවන් හරහා මෙරට තරුණ තරුණියන්ට ධීවර ක්ෂේත්රය ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දකුණු කොරියාවේ ප්රමුඛ පෙළේ ආයතන වන KMI සහ KIOST සමඟ පවතින සබඳතා ශක්තිමත් කරගනිමින්, ශ්‍රී ලංකාවේ ධීවර හා සමුද්‍රීය සම්පත් අංශයේ නව පුනරුදයක් ඇති කිරීම මෙම වැඩසටහන්වල අරමුණයි.
