විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීම සඳහා සමාජය තුළ නව ආකල්පමය සහ මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේදී ආගමික නායකයින්ට සහ ආගමික සංස්ථාවන්ට විශාල වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති ‘ඉවත්වෙනු’ මෙහෙයුමේ වසරක ඇගයුම් සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම ව්‍යසනය පරාජය කිරීම සඳහා රජය ගෙන යන ඒකාබද්ධ වැඩපිළිවෙළේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නිර්මාණය වී ඇති ‘කළු රාජ්‍ය යන්ත්‍රණය’ රටට බරපතල තර්ජනයක් බව අවධාරණය කළේය. පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 224කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර පාසල් දරුවන් සහ තරුණ පරපුර අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව දත්ත මගින් තහවුරු වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වයස අවුරුදු 14ත් 18ත් අතර දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීම ජාතික අභියෝගයක් බව ඔහු සඳහන් කළේය.

මෙම ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. ඕනෑම බාධකයක් මැද වුවද මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ තීරණයෙන් රජය කිසිසේත් පසුබට නොවන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version