මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ, වාණිජ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මෙතෙක් ප්‍රමාණවත් ලෙස භාවිත නොවූ හෙක්ටයාර 5,039ක උස්බිම් ප්‍රදේශ වාණිජ වගා භූමි බවට පරිවර්තනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ අඹ, පේර, කෙසෙල්, පැපොල් සහ පැෂන් ෆෘට් වැනි පලතුරු වගාවන් ප්‍රවර්ධනය කෙරේ. පලතුරු ගස් ඵලදාව ලබා දෙන තෙක් මුල් වසරවලදී ගොවීන්ට අමතර ආදායමක් ලබාගත හැකි වන පරිදි මිරිස්, රටකජු, කොමඩු සහ මුං ඇට වැනි අතුරු බෝග වගා කිරීමට ද පහසුකම් සලසා ඇත.

නවීන තාක්ෂණය භාවිත කරමින් සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පීඩන නළ ජල පද්ධති ඔස්සේ මෙම වගා බිම් සඳහා ජලය සැපයීමට සැලසුම් කර තිබේ. දේශගුණ හිතකාමී සහ කාර්යක්ෂම ජල කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීම මෙහි අරමුණයි. මීට අමතරව, දැනට පවතින හෙක්ටයාර 2,000ක වාණිජ ගොවිබිම් ද නවීකරණය කිරීමට පියවර ගෙන ඇත.

අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, වී වගාව පමණක් මත යැපීම වෙනුවට වාණිජ කෘෂිකර්මාන්තය වෙත යොමුවීම කාලීන අවශ්‍යතාවක් බවයි. “වී වගා කළාට ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවන්න බැරිවෙලා තියෙනවා. ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවන්න නම් අපිට වාණිජ කෘෂිකර්මාන්තයට යන්න වෙනවා,” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම වැඩසටහන හරහා වී වගා කරන භූමි ප්‍රමාණය යම් මට්ටමකින් අඩු කර, එම ඉඩම් අතිරේක බෝග වගාව සඳහා යොදාගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ සඳහා අවශ්‍ය පොහොර සහනාධාර ලබාදීමටත්, ගොවීන් නවීන වාණිජ කෘෂිකර්ම මාවතකට යොමු කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version