ජපානයේ සෝකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ජාත්‍යන්තර අවධානය දිනාගත් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය නිර්මාණකාරිනියක වන ආශා නයෝමි වීරවර්ධන හෙවත් ‘නයෝමිචාන්’ගේ හදිසි අභාවය පිළිබඳ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කම්පනයක් ඇති කර තිබේ. ඇය මියයන විට 33 වැනි වියේ පසු වූවාය.

යූටියුබ්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු වේදිකා හරහා සිය සරල ජීවන රටාව සහ ජපානයේ අත්දැකීම් බෙදා ගනිමින් විශාල රසික පිරිසකගේ ආදරය දිනා ගැනීමට ඇය සමත් වූවාය. සිය කුලුඳුල් දරුවා පිළිගැනීමට මහත් බලාපොරොත්තුවෙන් සිටි ඇය, මරණයට දින කිහිපයකට පෙර ද සිය දරුවා වෙනුවෙන් භාණ්ඩ තෝරාගන්නා වීඩියෝවක් ද සමාජ මාධ්‍යයට එක් කර තිබිණි.

ඇයගේ නැගණිය වන අයේෂා වීරවර්ධන පවසන පරිදි, දරුවා ප්‍රසූත කිරීමට යාමේදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වී ඇත. ප්‍රසවයේදී ගර්භාෂයේ ජල පටලය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් අධික රුධිර වහනයක් සිදුව ඇති අතර, දරුවා බේරා ගත්තද නයෝමිට නැවත සිහිය ලැබී නොමැති බව ඇය සඳහන් කරයි.

ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අධ්‍යාපන හා රැකියා අවස්ථා පිළිබඳව මඟ පෙන්වීම් ලබා දුන් නයෝමි, සිය පෞද්ගලික ජීවිතයේ අභියෝග හා ජයග්‍රහණ කිසිදු ආටෝපයකින් තොරව ප්‍රේක්ෂකයන් සමඟ බෙදා ගත්තාය. ඇයගේ අකල් වියෝව පිළිබඳව මේ වන විටත් දේශීය හා විදේශීය රසිකයන් විශාල පිරිසක් සිය ශෝකය පළ කරමින් සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version